නිතර අසනු ලබන ගැටලු

අධිකාරියේ සමස්ථ කාර්යයභාරය පිළිබඳ 2015 අංක 04 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ හා ආරක්ෂා කිරීමේ පනතේ 13 (1) හි සඳහන් වේ. කෙසේ වුවද, අපරාධයක වින්දිතන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ අයිතිවාසිකම් හා හිමිකම් හඳුනාගෙන ඒවා අරක්ෂා කිරීම හෝ ආරක්ෂා කිරීමට සැලැස්වීමත්. එම අයිතිවාසිකම් හෝ හිමිකම් කඩවූ අවස්ථාවක ඒ පිළිබඳව විමර්ශනයක් සිදු කර සුදුසු පිළියම් යෙදීමට අදාළ ආයතනවලින් ඉල්ලා සිටීමත්, අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට අවශ්‍ය සහාය සහ ආරක්ෂාව ලබා දීමත්, ඔවුන්ගේ අයිතිවාසිකම් හා හිමිකම් පිළිබඳව මහජනතාව සහ රජයේ නිලධාරීන් දැනුවත් කිරීමත්, අපරාධ අඩු කිරීමට අවශ්‍ය වන පියවර හඳුනා ගැනීම සඳහා පර්යේෂණ පැවැත්වීම සහ අපරාධ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගත හැකි පරිසරයක් නිර්මාණය කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමත් අධිකාරියේ ප්‍රධාන කාර්යයන් හා කර්තව්‍යයන් වේ.

මිට අදාළ සමස්ථ අර්ථ නිරූපණය 2015 අංක 04 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ හා ආරක්ෂා කිරීමේ පනතේ 46 වගන්තියේ සඳහන් වේ. සරලව ගත්විට අපරාධයක වින්දිතයකු යන්නෙන් යම් නීතියක් මඟින් දක්වා ඇති උද්දේශිත වරදක් සංයුක්ත වන්නා වූ හෝ යම් ක්‍රියාවක හෝ නොකර හැරීමක ප්‍රතිඵලයක් ලෙස හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 හෝ 13(1) හෝ (2) මඟින් සුරක්ෂිත කර ඇති මූලික අයිතිවාසිකමක් හෝ මානව හිමිකමක් කඩ කිරීමක ප්‍රතිඵලයක් ලෙස කායික, මානසික, චිත්තාවේගී, ආර්ථික හෝ වෙනත් අලාභයක්, හිංසාවක්, හානියක්, දුබලතාවයක් හෝ හානියක් අත්විඳින යම් තැනැත්තකු ඔහුගේ / ඇයගේ පවුලේ සාමාජිකයෙකු, දරුවකු හෝ ඔහු හෝ ඇය කෙරෙහි විශේෂිත බැඳිමක් ඇති යම් තැනැත්තකු අදහස් වේ.

නීතිය බලාත්මක කරන නිලධරයකු වෙත යම් තොරතුරක් සැපයීම හෝ යම් පැමිණිල්ලක් ඉදිරිපත් කිරිම නිසා එම පැමිණිල්ල පදනම් කරගෙන ආරම්භ කර ඇති හෝ ආරම්භ කරගෙන යන විමර්ශනයක දී හෝ පරීක්ෂණයක දී හෝ යම් මූලික අයිතිවාසිකමක් හෝ මානව හිමිකමක් කඩවීමක් සම්බන්ධව ආරම්භ කළ හැකි හෝ ආරම්භ කර ඇති හෝ ආරම්භ කිරිමට යන යම් පරීක්ෂණයක දී,

  • එම තොරතුරු සපයා ඇති හෝ පැමිණිලිකර ඇති තැනැත්තකු;
  • එබඳු පරීක්ෂණයක දී යම් ප්‍රකාශයක් කර ඇති තැනැත්තකු;
  • එබඳු පැමිණිල්ලකට හෝ නඩු කටයුත්තකට සහභාගී වී සහයෝගය දැක්වීමක් ලෙස යම් දිවුරුම් ප්‍රකාශයක් කර ඇති තැනැත්තකු;
  • කොමිෂන් සභාවකට තොරතුරු හෝ නිවේදනයක් සපයා ඇති තැනැත්තකු;
  • නීතිය බලාත්මක කිරීමේ අධිකාරියක හෝ කොමිෂන් සභාවක ඉදිරියේ පවත්වන යම් අධිකරණ හෝ අර්ධ අධිකරණ නඩු කටයුත්තක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට හෝ සාක්ෂි ලබා දීමට කැඳවනු ලැබීමට සාධාරණ හේතු ඇති බවට විශ්වාස කරන තැනැත්තකු;
  • එබඳු කාර්යයකදී සාක්ෂි දීම සඳහා පැමිණෙන ලෙස දන්වා සිතාසියක් ලද තැනැත්තකු;
  • උද්දේශිත වරදක් සිදු කිරීම හෝ උද්දේශිත මූලික අයිතිවාසිකමක් හේ උද්දේශිත මානව හිමිකමක් කඩ කිරීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර ඇති රජයේ නිලධාරියකු;
  • අපරාධයක සාක්ෂිකරුවකු ලෙස අදහස් වේ.

මිට අදාළ සම්පූර්ණ තොරතුරු 2015 අංක 04 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ හා ආරක්ෂා කිරීමේ පනතේ 3,4,5,6 යන වගන්ති වල සඳහන් වේ. දළ වශයෙන් ගතහොත්,
වින්දිතයකු සම්බන්ධයෙන් වන කළ

  • සමානව, සාධාරණව සහ ගෞරවනීය ලෙස සලකවා ගැනීමට ඇති අයිතිය;
  • ළමා වින්දිතයකු වන විට උපරිම යහපත සැලසෙන ලෙස සලකවා ගැනීමට;
  • අපරාධයක් නිසා සිදුවූ අලාභයක්, හානියක් හානිපූරණය කිරීමේ අයිතිය;
  • තර්ජන, බියගැන්වීම, ප්‍රතිප්‍රහාරයන්ගෙන් ආරක්ෂා වීමේ අයිතිය;
  • අපරාධයේ ප්‍රතිඵලයක් වශයෙන් සිදුවූ මානසික හෝ කායික හෝ හිංසාවකට, හානියකට, ඌනතාවයකට, ආබාධයකට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේ අයිතිය ;
  • අපරධයක වින්දිතයකුට ඇති ප්‍රතිකර්ම පිළිබඳව සහ තමා විසින් කරන ලද පැමිණිල්ලක විමර්ශන ප්‍රගතය පිළිබඳව තොරතුරු දැනගැනීමට ඇති අයිතිය;
  • සැකකරු ඇප මත මුදාහැරීම, නිදහස් කිරීම, චෝදනා නඩු ගොනු කිරීම, නිදොස් කොට නිදහස් කිරීම හෝ දණ්ඩන පැනවීම, බන්ධනාගාරයෙන් නිදහස් කිරීම පිළිබඳව තොරතුරු දැනගැනීමේ අයිතිය;
  • තමා විසින් කරන ලද පැමිණිල්ලක් අපක්ෂපාතීව විමර්ශනය කරවා ගැනීමට ඇති අයිතිය;
  • නඩු කටයුත්තක දී නීතීඥවරයකු මඟින් හෝ තනිවම අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට ඇති අයිතිය;
  • අපරාධයක බලපෑම පිළිබඳව අධිකරණයට කරුණු ගොනු කර දැක්වීමට ඇති අයිතිය;
  • සාක්ෂිකරුවකු සම්බන්ධ වන කල වරදක් සිදු කිරීමට හෝ මූලික අයිතිවාසිකම් කඩවීමක් හෝ මානව හිමිකම් කඩවීමක් සම්බන්ධයෙන් හෝ අදාළ තොරතුරු සැපයීමකට ස්වෙච්ඡාවෙන් ප්‍රකාශයක් කිරීම හෝ එබඳු සිද්ධියකට අදාළව අධිකරණයක් හෝ කොමිෂන් සභාවක් ඉදිරිපිට සාක්ෂි ලබාදීම නිසා තර්ජනයකින් හෝ හිරිහැරයකින්, බියගැන්වීමකින් ආරක්ෂා වීමේ හිමිකම;
  • යනාදීය වේ

අපරාධයක වින්දිතයකු හෝ සාක්ෂිකරුවකුගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සම්බන්ධයෙන් විමර්ශනය කරවා ගැනීම;
වින්දිතයකුගේ හෝ සාක්ෂිකරුවකුට අවශ්‍ය වන ආරක්ෂාව සහ සහයෝගය ලබා ගැනීම;

අපරාධයක යම් ප්‍රතිඵලයක් ලෙස ඇතිවූ යම් කායික හෝ මානසික හෝ ආර්ථික හානියකට අදාළව යම් හානිපූර්ණයක් සඳහා අවශ්‍ය වන ආධාරයක් හෝ වන්දියක් ලබා ගැනිමට හැකි වීම.

අපරාධ වින්දිතයකු හට අධිකාරියට ඉදිරිපත් කිරීම සඳහා වින්දිත බලපෑම් ප්‍රකාශයක් (Victim Impact Statement) සෑදීමට උපදෙස් ලබාදීම.

  • Hotline: 1985
  • දුරකතන අංකය: 0112-2879539
  • විද්‍යුත් ලිපිනය: witness.protection.srilanka@gmail.com
  • ෆැක්ස්: 0112879440
  • ලිපිනය: අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරැවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය
    පළමු මහල, 428/11A, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල.